Gossips

විජයකලා නිසා පාර්ලිමේන්තුව කල් තැබේ – සොයාබලා පියවරක් ගන්නැයි කථානායක නීතිපතිට දන්වයි

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුවූ උණුසුම් තත්ත්වය නිසා අද පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවුණා.
පසුව කථානායකවරයා නිවේදනය කළේ, එම ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැන්වූ බවයි.
අද පාර්ලිමේන්තුව ආරම්භයේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු, පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රශ්න කළා.
එහිදී ඇයගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අකිල විරාජ් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් දැක්වූ අතර, එහිදී ඇතිවූයේ උණුසුම් සංවාදාත්මක තත්ත්වයක්.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ප්‍රියන්තද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය ධුරයෙන් ඉවත් කළ යුතු බව සඳහන් කිරීම විශේෂත්වයක්.
එහිදී, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ කියමින් සභාව තුළ විරෝධය පළ කළ අතර, කථානායක කරූ ජයසූරිය තාවකාලිකව පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබුවා.
නැවතත් විනාඩි 10 කට පසු පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ කථානායකවරයා පසුව ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් වෙත දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, එම පිලිතුර ප්‍රමාණවත් නොවන බවත්, ඇය සම්බන්ධයෙන් කථානායකවරයා ලෙස තීන්දුවක් ගත යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, දයාසිරි ජයසේකර සහ ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් එහිදී කටයුතු කළ යුතු බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.
විජයකලා රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව කටයුතු කරන ලෙස දන්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු අත්සන් කරන ලද ලිපියක් ද කථානායකවරයා වෙත එහිදී භාරදුන් අතර, කථානායකවරයා ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත්, ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සෙංකෝලය රැගෙන යාමට කිහිපවරක් උත්සාහ කළ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම අදහස් දැක්වීම නිසා කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබීමට කටයුතු කළා.
එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සභාවට පැමිණීයත් එම අවස්ථාවේදී සෙංකෝලය සභා ගර්භයෙන් පිටතට රැගෙන යමින් තිබුණා.