Gossips

විජයකලා ගැන ලබා ගත් ප්‍රකාශ 30ක්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කරන බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඇයගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
ඉන් ද්‍රවිඩ භාෂාවෙන් ලබාදුන් ප්‍රකාශ 30ක් පැවතීම හේතුවෙන් මෙලෙස ඒවා පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කරන බවයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ එම උසස් නිලධාරියා සඳහන් කළේ.
ඒ අනුව සියළු සටහන් නීතිපතිවරයා වෙත යොමු කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බව ද ඔහු සඳහන් කළා.
හිටපු රාජ්‍ය ඇමතිණියගෙන් මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුලූ අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී එහි සිටි 50 දෙනෙකුගෙන් පමණ මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
යාපනයේ පිහිටි විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ නිවසේදී පසුගිය 24 වන දා පැය තුනහමාරකට ආසන්න කාලයක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඇයගෙන් ප්‍රශ්ණ කර තිබුණා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී ප්‍රකාශ කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින්.