Gossips

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර්

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය වැනි මානසිකත්වයක් උතුරේ ජනතාව තුළ නිර්මාණය වීම වැළැක්වීමට රජය වග බලාගත යුතු බව උතුර පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ජී. ගුණසීලන් පවසනවා.
මන්නාරම ප්‍රදේශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ උතුර පළාතේ සිදුවන අපරාධ පිළිබඳ රජය නොසලකා හැර සිටින්නේ ද යන්න සැක සහිත බවයි.
මේ අතර, හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට විරෝධය පළ කරමින් යාපනය කෝපායි ප්‍රදේශයේ කිසියම් පිරිසක් පෝස්ටර් අලවා තිබූ බව වාර්තා වුණා.
හිටපු අමාත්‍යවරිය මුදලට ඇමති පදවිය අතහැර දමා ඇති බවත්, ඒ නිසා ඇයට මන්ත්‍රී වරප්‍රසාද ද අහිමි කළ යුතු බවත් එහි දැක්වුණා.
එමෙන්ම, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියේ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.