Gossips

විජයකලාගෙන් එජාප පරීක්ෂණ කමිටුවට ලිපියක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂ පරීක්ෂණ කමිටුවට ලිපියක් යොමුකර තිබෙනවා.
එමඟින් දක්වා ඇත්තේ තමන් තුළ පැවති සිත් කළකිරීම් හේතුවෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බවයි.
පසුගිය මාස කිහිපය තුළ සිදුවූ ඇතැම් සිදුවීම් පිළිබඳව කණගාටුවන බවටද එම ලිපියේ සඳහන් බවයි වාර්තාවන්නේ.
සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ පරීක්ෂණ කමිටුව හිටපු රාජ්‍ය අමාත්‍යවරියට දැනුම්දුන් අතර, ඒ අනුවයි ඇය මෙලෙස ලිපියක් අදාළ කමිටුවට යොමුකර ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරුන් 04 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කළා.
ඊට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන අමාත්‍යවරුන් ඇතුළත්.
මේ අතර විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබාගත් ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමුකරන බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඊයේ සඳහන් කළා.
ප්‍රකාශ 25 ක් පමණ මේ වනවිටත් සටහන් කරගෙන ඇති අතර, ඊට අමාත්‍ය වජිර අබේවර්ධන, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි නියාමකවරුන් මෙන්ම ග්‍රාම නිලධාරීන්ද ඇතුළත්.