Gossips

විග්නේෂ්වරන්, දෙමළ සන්ධානයෙන් ප්‍රතික්ෂේප වේ

උතුරේ වත්මන් මහඇමති සී.වී විග්නේෂ්වරන්ට යළි අපේක්ෂකත්වය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය අදහස් නොකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර උතුරේ අධිආරක්ෂිත කලාපවල තවත් ඉඩම් අක්කර 650 ක් සිංහල සහ හින්දු අවුරුදු සමයේ ඒවායේ හිමිකාරිත්වය පැවති සිවිල් වැසියන් වෙත ලබාදීමට කටයුතු කෙරෙනවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ලබන 16 වනදා යාපනය දිස්ත්‍රික් ලේකම් වෙත අදාළ ඉඩම් භාරදීමට නියමිත බවයි.
ඒ අනුව යාපනය ප්‍රදේශයේ මයිලඩි උතුර, මයිලඩිතුරෙයි, තිංමලේ, තයිටි – නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් මෙලෙස සිවිල් වැසියන් වෙත ලබාදීම සිදු කෙරෙනු ඇති.
යුද හමුදාව මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි හඳුනාගත් ඉඩම් මෙලෙස නිදහස් කෙරෙනවා. එමෙන්ම තවදුරටත් ඉඩම් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳ සමීක්ෂණ සිදුකරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් සඳහන් කළේ.
යුද සමයේ උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 27,000 ක් පමණ ආරක්ෂක අංශ මගින් පරිහරණයට යොදාගත් අතර, ඉන් බහුතරයක් මේ වනවිට නැවතත් හිමිකරුවන් වෙත ලබාදී තිබෙනවා.
අප්‍රේල් 16 වනදා තවත් අක්කර 650ක් මුදාහැරීමෙන් පසු උතුරේ ආරක්ෂක හමුදා සතුව පවතින පෞද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර 3500 කට සීමාවනු ඇති.
එමෙන්ම ආරක්ෂක අංශවල සහය ඇතිව පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් තෙලිප්පලෙයි සහ වලිකාමම් – උතුර ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 30 ක් ඉදිරි සතියේදී සිවිල් වැසියන් වෙත ලබාදීමට නියමිතයි.