Gossips

විග්නේෂ්වරන් අභියාචනාධිකරණයට

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ පසුගිය ජූලි 29 වනදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුවයි.
උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් සිල්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ බී.ඩෙනීෂ්වරන් කළ පෙත්සමකට අදාළවයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බී. ඩෙනීෂ්වරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් මෙම ලිපිය ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, අධිකරණ තීන්දුව අනුව, ඔහුට යළි අමාත්‍ය ධුරය ලබා නොදීම හේතුවෙන් මෙලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට සහ උතුරු පළාත් සභා අමාත්‍යවරුන් වන ආනන්දී ශෂීදරන් සහ කේ.ෂිවනේෂන්ට අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස පසුගිය අගෝස්තු මස 8 වනදා සිතාසි නිකුත් කෙරුණා.
ඒ අනුවයි, ඔවුන් අද දිනයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේ. එහිදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම මේ මස 18 වනදාට සිදුකරන ලෙසයි අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා නියෝග කළේ.
එමෙන්ම, එදිනට ඔවුන් තුන්දෙනාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරුණා.
මේ අතර, බී. ඩෙනීෂ්වරන්ගේ අමාත්‍ය ධුරය අහෝසි කරමින් උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නිකුත් කළ ලිපිය බල රහිත කරමින්
අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ද ලබන මස 9 වනදා දක්වා දීර්ඝ කිරීමටයි අභියාචනාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.