Gossips

විග්නේෂ්වරන් අනාගතය ගැන හෙළිදරව්වක

උතුර මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නව දේශපාලන සම්ප්‍රාප්තිය සලකුණු කරන මහජන රැස්වීමක් ලබන බදාදා යාපනයේදී සංවිධාන කර තිබෙනවා.
යාපනය – නල්ලූර් කෝවිලට නුදුරින් නඩරාජා පරමේෂ්වරී ශාලාවේ ලබන 24 වැනිදා උදෑසන 9.30 ට ආරම්භ වන මෙම රැස්වීමේදී උතුර ප්‍රධාන අමාත්‍යවරයා සිය නව දේශපාලන ගමන් මග හෙලිදරව් කරනු ඇති.
23 වැනිදා ඔහුගේ ඡන්ම දිනය යෙදී ඇති අතර, 25 වැනිදා උතුර පළාත් සභාවේ නිල කාලය අවසන් වනවා. ඊට අනුකූල වන අයුරින් ඔක්තෝම්බර් 24 වැනිදා මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ දෙමළ ජනතා සභාව විසින්. සී.වී.විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා සම සභාපති වන මෙම නව දේශපාලන සංවිධානය ඔහුගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් සකස් කරන ලද්දක් ලෙසයි සැලකෙන්නේ.
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මුලතිව් හි ඊයේ පැවති රැස්වීමකදී සඳහන් කළේ සී.වී.විග්නේෂ්වරන් උතුර මහ ඇමතිවරයා බවට පත් කිරීම තම පක්ෂය සිදුකළ අත්වැරැද්දක් බවයි.
එහි ප්‍රතිවිපාක අද තම පක්ෂයට විඳින්නට සිදුව ඇති බව ඔහු අවධාරණය කළා.
මේ අතර, උතුර පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂීදරන් අද යාපනයේදී නව දේශපාලන සංවිධායක් දියත් කළා.
ඒ, ඊලාම් තමිල් සුයච්චි කලහම් හෙවත් ඊළාම් දෙමළ ස්වාධීන සංවිධානය නමින්.