Gossips

වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම්

දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින වැසි සහිත තත්වය තවදුරටත් පැවතියහොත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පැවතිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ ප්‍රදේශවලටත් මෙම නායයෑමේ අවදානම ක්‍රියාත්මකයි.
මේ අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද පස්වරුවේ මුළුමනින්ම ඇණහිටියා.
හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී අදාළ පස් කන්ද කඩාවැටී තිබූ අතර, අද පෙරවරුවේද එම ස්ථානයෙන් අදාළ මාර්ගය අවහිරවී තිබුණේ තවත් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.
පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරෙන අතර, විකල්ප මාර්ග භාවිත කරන බවටයි හැටන් පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
එසේම මස්කෙළිය – බ්‍රන්ස්වික් තේ වතුයායේ වතු නිවාස පේළියක් අසළ පිහිටි විශාල නුගගසක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් එම වතු නිවාසවල පදිංචි පුද්ගලයින් 80 දෙනෙකු පමණ තාවකාලිකව ඉවත්කරනු ලැබුවා.
මේ අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.
ඊට අමතරව කැනියොන්, කාසල්රි සහ මාවුස්සාකැළේ යන ජලාශවලද වාන් දොරටු දෙක බැගින් විවෘතයි. එසේම කැළණි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම ගංඟාව භාවිත කිරීමේදී වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙනවා.
මේ අතර ජල ගැල්මට ලක්වීම හේතුවෙන් හෙට දිනය දක්වා වසා දැමුණු දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් ගුවන් තොටුපල ලබන 26 වනදා තෙක් විවෘත නොකිරීමට එම ගුවන් තොටුපල බලධාරීන් අද තීරණය කළා.
කෙසේ වෙතත් මෙලෙස කොචින් ගුවන් ගමන් පමාවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විකල්ප පියවර රැසක් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව කොචින් බලා යාමට ප්‍රවේශපත්‍ර වෙන්කරගත් ගුවන් මගීන්ට ජල ගැල්ම බලපා නැති දකුණු ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් හෝ වෙනත් ඕනෑම ගුවන් තොටුපලක් වෙත අමතර ගාස්තුවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැළසෙනු ඇති.
පසුගිය 15 වනදා කොචින් ගුවන් තොටුපල වසා දැමීමත් සමඟ එහි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි ගුවන් මගීන්ට නවාතැන් පහසුකම් ලබාදී ඇති අතර, ඔවුන්ගේ කැමැත්ත පරිදි ත්‍රිවෙන්ද්‍රම් ගුවන් තොටුපල වෙතද රැගෙනවිත් තිබෙනවා.