Gossips

වැසි සහ සුළං අඩුවේ – හික්කඩුවේදී අතරමං ධීවරයින් බේරාගැනේ

දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මධ්‍යම සහ සබරගමුව පළාතේ ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි අතර, වයඹ, බස්නාහිර සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයකට සිහින් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඇතිවූ සුළං තත්ත්වයක් හේතුවෙන් පවුල් 18 කට අයත් පුද්ගලයින් 80 දෙනෙකු ගැස්ටින් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව හැටන් – ස්ටැඩන් වතුයායේ පදිංචි පවුල් 23 ක සාමාජිකයින් 54 දෙනෙකු නායයෑමේ අවදානමක් හේතුවෙන් ඉවත් කර ඇති බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඒ අනුව ඔවුන් හැටන් – ෆෘට්හිල් දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගෙන ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ගිනිගත්හේන ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරනවා.
මේ අතර අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේ අතරමං වූ ධීවරයින් 11 දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.
නාවික හමුදාවේ යාත්‍රාවක් මගින් ඔවුන් බේරාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් ඊයේ උදෑසන 10.30 ට පමණ ධීවර කටයුතු සඳහා ගොස් තිබූ අතර පස්වරු 5යි 45ට පමණ ධීවරයින් සිය ඥතීන්ට දුරකතන ඇමතුම් ලබා දී ප්‍රකාශ කර තිබුණේ තමන් අනතුරකට ලක්ව සිටින බවයි.
රාත්‍රී 9න් පසු මොවුන් සමඟ තිබූ දුරකතන සබදතා බිදවැටී ඇති අතර ඒ අනුවයි යාත්‍රාවේ හිමිකරුගේ ඥාතීයෙකු මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කරනු ලැබුවේ.
ඒ අනුව නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කළා.