Gossips

වැසි සහිත කාලගුණය තවදුරටත්

දැනට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණික තත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සබරගමු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි.
අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
දකුණු පළාතේත් මොණරාගල, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රලු විය හැකියි.
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රලු වීමේ හැකියාව පවතිනවා.
මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ.