Gossips

වැසි තත්වය තවදුරටත්

දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි.
දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇතිවිය හැකියි.
සබරගමුව පළාතේ සහ කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ද බලාපොරොත්තුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
දකුණු පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා තද සුළං ද බලාපොරොත්තු වනවා.
සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා තරමක් තද සුළං ද ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
මේ අතර දිවයිනට නිරිත දකුණ සහ ගිනිිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය හේතුවෙන් කලුතර සිට ගාල්ල හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකියි.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා පමණ ඉහළ යාමට හැකියාව පවතිනවා.
එබැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම යාපනය සිට පුත්තලම හරහා මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ක් 60 ක් පමණ දක්වා ඉහළ යාහැකියි.
මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.