Gossips

වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, දිවයින හරහා පවතින සුළං තත්ත්වය තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර, අධික වර්ෂාවත් සමඟ අද පෙරවරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටියා.
හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබූ අතර, පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
ඊයේ දිනයේදීත් වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වුණා.
එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රී ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.
මීට අමතරව කැනියොන් සහ විමලසුරේන්ද්‍ර යන ජලාශ තවදුරටත් පිටාර මට්ටමේ පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එසේම, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර පවතින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.
මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නිවාස රැසකට විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ එම ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.