Politics Sri Lanka

වැසිකිළියෙනුත් ගසා කෑ නගර සභා සභාපති මෛත්‍රීගෙන් අම්පාර නගර සභාවට

වැසිකිළියෙනුත් ගසා කෑ නගර සභා සභාපති මෛත්‍රීගෙන් අම්පාර නගර සභාවට

අම්පාර දිස්ත්‍රික්කයේ පැවති දැයට කිරුළ ව්‍යාපෘතිය පැවැත්වීම සඳහා අවශ්‍ය කසළ කළමනාකරණය හා තාවකාලික වැසිකිළි ඉදි කිරීම යන ව්‍යාපෘති සිදු කිරීමේ දී ව්‍යාජ ලේඛණ, ව්‍යාජ ගිණුම් ඉදිරිපත් කර ලක්ෂ 300කට අධික මුදලක් වංචා කළ අම්පාර නගර සභාවේ හිටපු සභාපති ඉන්දික නලීන් ජයවික්‍රම මහතා මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණ දේශපලාන වේදිකාවේ වංචාවට, දූෂණයට විරුද්ධව විශාල හඩක් නැගෙමින් තිබෙන අතර දූෂිතයන්ට ඉඩක් නැති බවත් දූෂිතයන්ට එරෙහිව තමන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දේශපාලන වේදිකාවේ සිට ප්‍රකාශ කරමින් සිටියි.

කෙසේ නමුත් මේ වනවිට, පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ වංචා හා දූෂණවලය නිරත වී චෝදනා ලබා ඇති ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු, පළාත් පාලන මන්ත්‍රීවරු බොහෝ පිරිසක් මහින්ද පාර්ශවයෙන් මෙන්ම මෛත්‍රී පාර්ශවයෙන්ද මැතිවරණයට ඉදිරිපත්ව සිටිති.

අම්පාර නගර සභාවට ඉදිරිපත් ව සිටින ඉන්දික නලීන් ජයවික්‍රම මහතා ඉන් එක් දූෂිතයෙක් ලෙස චෝදනා ලබා සිටියි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කළ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ 25වන වාර්තාව මගින්ද ඉන්දික නලීන් ජයවික්‍රම මහතා චූදිතයෙකු කර ඇති අතර ඔහුට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102 වගන්ති ප්‍රකාරව දූෂණය නමැති වරද සිදු කිරීම, කුමන්ත්‍රණය කිරීම, දූෂණයට අනුබල දීම යන වැරදි එකක් හෝ කිහිපයක් සිදු කර ඇති බවත්, ඒ හරහා රාජ්‍ය වත්කම්වලට සහ රාජ්‍ය අදායමට බරපතල අලාභයක් සිදු වී ඇති බවත්, චූදිතයාට අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු පැවරියයුතු බවත් නිර්දේශ කර තිබේ.