Gossips

වැස්ස වැඩිවෙයි – කළු සහ ගිං තවමත් අවදානම් මට්ටමේ

දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක්, අද (08) සහ හෙට (09) දිනයන්හිදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මරදන්කඩවල සහ රණෝරාව යන ප්‍රදේශවලට ලැබී ඇති අතර, එය මිලිමීටර 110.5 ක්.
මේ අතර කළු ගඟ – මිල්ලකන්ද ප්‍රදේශයේදී සහ ගිං ගඟ – බද්දේගම ප්‍රදේශයේදී පිටාර මට්ටමට පැමිණීමත් සමඟ සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එසේම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති අතර, තිස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
සේවය නිමකර පෙරේදා යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී වළල්ලාවිට – ඔලගොඩ ප්‍රදේශයේදී සැඩපහරකට හසුවී අතුරුදන්වූ කාන්තාවගේ මළ සිරුර අද (08) පෙරවරුවේ සොයාගත්තා.
59 හැවිරිදි ඇය මෙම අනතුරට ලක්වුණේ තවත් මිතුරියන් දෙදෙනෙකු සමඟ යළි නිවස කරා පැමිණෙමින් සිටියදියි.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල තවදුරටත් ජලය රැඳී ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
අලුත්ගම – මතුගම මාර්ගය ජලයෙන් යටවීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව අද අලුයම විවෘත කෙරුණා.
මේ අතර පුත්තලම – කොළමුණු ඔයේ පැති බැම්ම කැඩී යාමේ අවදානමකට ලක්වීමත් සමඟ එය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
එසේම වනාතවිල්ලුව – පරණ එළුවන්කුලම – රාල් මඩුව වැව ඊයේ අලුයම කැඩීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
අධික වර්ෂාව පැවතියද එම වැවේ වෑකන්ද බිඳී යාමේ අවදානම් තත්ත්වයක් නොපැවති බැවින් එය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට තොරතුරු ලැබීම ඊට හේතුවයි.
මේ අතර ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය ඇතුලු කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද පැවතියා.