Gossips

වැස්ස අඩුවෙයි – ටිට්ලි ඉන්දියාවට

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "ටිට්ලි" සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වීමත් සමඟ දිවයිනේ පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත්, අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සවස් කාලයේදී බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද (10) පෙරවරු 8 යි 30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වරකාපොල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 83 යි දශම 4 ක්.
වර්ෂාවත් සමඟ කොළඹ ප්‍රදේශයේ මාර්ග රැසක අද (10) උදෑසන කාලයේ රථ වාහන තදබදයක් ද පැවතුණා.
එමෙන්ම නාරාහේන්පිට – චිත්‍රාපටු මගෙහි මාර්ගයේ කොටසක ගිලා බැසීමක් සිදුව තිබෙනවා.
ගිලා බැසීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් අනතුරට ලක් වූ අතර ඉන් එහි සිටි ළමයින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
මාළඹේ ප්‍රදේශයේ සිටයි මෙම වෑන් රථය පැමිණ ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ගිලා බැසීමට ලක් වූ ස්ථානය ප්‍රතිසංස්කරණය කරනතුරු චිත්‍රා පටුමඟ තාවකාලිකව වසා දමා ඇති බවයි.
හැටන් – මස්කෙළිය – බගවන්තලාව – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ද එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මාර්ගය ඇතැම් ස්ථානවලින් නායයාමේ අවදානමක් මතුව ඇති බැවින් මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.
මේ අතර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නාය යාම් අවදානම අද (10) පස්වරු 5 දක්වා ක්‍රියාත්මකයි.
එමෙන්ම, රාජාංගනය ජලාශයේ වාන්දොරටු 4 ක් අඩි 2 ක බැගින් සහ දැදුරු ඔයේ වාන්දොරටු 3 ක් තවමත් විවෘතව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කළු ගඟ තවදුරටත් මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා.