Gossips

වැස්සක් එනතුරු, නොදන්වා විදුලිය කපන ලකුණු

වර්ෂාව ලැබී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යනතුරු විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා.
විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මීට පෙර අදාළ බලධාරින්ට දැනුම් දුන් බවයි.
ඒ අනුව, විදුලි ඉංජිනේරුවරුන් පසුගිය 18 වනදා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා මාර්ගයෙන් විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ බව දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, විදුලිය විසන්ධි කළ යුතු ක්‍රමවේදය ද එහිදී අමාත්‍යාංශ බලධාරින්ට දැනුම්දී ඇති අතර මේ වනතුරු විදුලිය කප්පාදු කිරීම පිළිබඳ කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, වර්තමානයේ රට තුළ විදුලි අර්බුදයක් නොමැති බවත්, විදුලි මාෆියාවක් ඇති කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.
එසේම, සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ සූර්යය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම පිළිබඳව රජය වහා ක්‍රියාමාර්ග ගත යුතු බවයි ඊයේ පැවති තවත් මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු කියා සිටියේ.