Gossips

වැලිගම කොල්ලය පිටුපස අලුත් කල්ලියක්දැයි සැක

මාතර – වැලිගම – දෙනිපිටිය කණිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී එළවළු ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධිය අලූතින් බිහිවූ කොල්ල කල්ලියක් සිදුකරන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ තම බලකායේ නම භාවිතා කරමින් මෙම කොල්ලය සිදුකර ඇති බවටයි.
ඒ අනුව මොවුන් අලූතින් බිහිවූ කල්ලියක් බවට සැක මතුවන බවද ඔහු ප්‍රකාශ කළා.
ඊයේ අලූයම මෙම කොල්ලය සිදුව තිබුණේ අදාළ ව්‍යාපාරිකයා තම ලොරි රථයෙන් දෙනිපිටිය මංසන්ධියේ පිහිටි අලෙවිසැලකට ගොස් රථය එහි නවතා පාගමනින් නිවෙසට පැමිණෙමින් සිටියදීයි.
ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ පිටුපසින් පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකු තමාව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් තමන් සතුව තිබූ මුදල් කොල්ල කා පලාගිය බවයි.
එමෙන්ම අම්බලන්ගොඩ හෝටල් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු ඇල්පිටිය පොලීසියේ නීතිය බලගැන්වීමේ නිලධාරීන් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මොහු, කොස්ගොඩ සුජී නැමති පාතාල නායකයාගේ නම භාවිත කරමින් මෙලෙස කප්පම් ඉල්ලා ඇති අතර, පසුගිය වසරේද මොහු මෙම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
අම්බලන්ගොඩ – මාදම්පේ ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ තවත් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුද මෙම කප්පම් සිද්ධියට සම්බන්ධ ද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර ගන්දර – පරවාහැර ප්‍රදේශයේ සිදුවු බැංකු කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිසිය කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.
යතුරුපැදි දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් සිව් දෙනෙකු එහි තිබූ රුපියල් ලක්ෂ 03 ක් කොල්ල කා පළාගොස් තිබුණේ පෙරේදා පස්වරුවේයී.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මෙම කොල්ලය සිදුකර තිබූ අතර, කොල්ලකරුවන් කිසිවෙකුත් මෙතෙක් හඳුනාගෙන නැහැ.