Gossips

වැලිගම්පිටියේ වෙඩි තැබීම අත්වැරදීමක් බව හෙළිවෙයි

ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී කාන්තාවකට මරු කැදවමින් අද (30) දහවල් සිදුවූ වෙඩි තැබීම අත්වැරදීමක් සිදුවූවක් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු මවක්.
ඇය මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඇය ගමන් ගත් මෝටර් රථයෙහි 8 හැවිරිදි ඇගේ දියණිය ද සිට ඇති අතර, ඉන් දියණියට හානියක් සිදුව නැහැ.
දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ වෙනත් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරකයන් පැමිණ ඇති අතර, ඔවුන් අත්වැරදීමකින් මෙම කාන්තාවට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල කල්ලි සාමාජිකයෙකු පෑලියගොඩ පොලීසියට ගොස් යළි පැමිණෙමින් සිට ඇති අතර ඔහු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
අදාළ පාතාල කල්ලි සාමාජිකයා සහ මිය ගිය කාන්තාව ගමන් ගත් මෝටර් රථ එක සමාන පැහැයෙන් යුක්ත බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
පාතාල කල්ලි සාමාජිකයා ගමන් ගත් මෝටර් රථය යැයි සිතා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.