Gossips

වැලිකඩ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ 9 බේස්ලයින් පාර ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාර නිල නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස්වරයා අද (29) අලූත්කඬේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර වැලිකඩ සිද්ධියට අදාළව ඊයේ (28) අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවද අද අලූත්කඬේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2012 වසරේ නොවැම්බර් 09 වන දා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය ගියා.
මේ අතර ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (28) පස්වරුවේ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති ඇල්ෆ‍්‍රඞ් විජේතුංග තිලකරත්න නැමති ඔහු යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.