වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් අතර, ඇති වූ ගැටුම්කාරී තත්ත්වය ඊයේ (20) රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැදවියන් පනස් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බවයි.
කාන්තා රැදවියන් පිරිසක් ඊයේ (20) දහවල් බන්ධනාගාරයේ වහලය මත නැගී යළි විරෝධතාවක් ආරම්භ කළා.
සතියක් ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ දෙවන අවස්ථාව මෙයයි.
පසුගිය 13 වන දා කාන්තා රැදවියන් පිරිසක් මෙලෙසම විරෝධතාවක් ආරම්භ කළේ නඩු ප්‍රමාදයට සහ ප්‍රමාණවත් තරම් පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින්.
එහිදී ඔවුන් දින දෙකක් විරෝධතාවයේ නිරත වූ අතර, පසුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එය අවසන් කෙරුණා.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබියදී ඊයේ උද්ඝෝෂණයේ නිරත වූ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් බවයි බන්ධානාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ.
එහිදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සහ රැදවියන් 03 දෙනෙකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට යොමු කෙරුණා.
මේ අතර, බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ඊයේ (20) දිනයේදී බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් රැදවියන්ට පහර දුන් බවට චෝදනා කරමින්.
