Gossips

වැලිකඩ පොලීසිය කථානායක හමුවීමට සැරසේ

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වන පරීක්ෂණ, කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන බව වැලිකඩ පොලීසිය පවසනවා.
පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයයි වැලිකඩ පොලීසියට මෙම පරීක්ෂණ භාර දී තිබුණේ.
ඊයේ ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ද පිහියක් අතැතිව රැදී සිටි බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මේ අතර, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව අද පොලිස් මූලස්ථානයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ආචාර්ය විමල් ගීගනගේ විසින්.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ද අද පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අද සිදුකළ මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් කථානායකවරයා ද දැනුවත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ මන්ත්‍රී දිලූම් අමුණුගම ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.