Gossips

වැලිකඩ කාන්තා රැඳවියන් තවමත් වහලය මත – ආරක්ෂාවට පොලීසිය

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කර ඇති විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ පස්වරුවේ විරෝධතාවයේ නිරත රැඳවියන් අතර හට ගත් ගැටුමක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු කාන්තා රැඳවියන් 4 දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවටයි වාර්තා වන්නේ.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විරෝධතාව සම්බන්ධයෙන් රැඳවියන් අතර ඇති වූ මතභේදයක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ සිට වැලිකඩ බන්ධනාගාරයට බොරැල්ල පොලීසිය මගින් විශේෂ ආරක්ෂාවක් ද ලබාදී තිබෙනවා.
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඊයේ උදෑසන ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළ අතර, එම රැඳවියන් වරින් වර වහලය මත නැගී සිය විරෝධය පළ කරනවා.
ඊයේ පස්වරුව වන විට රැඳවියන් 30කට ආසන්න ප්‍රමාණයක් ඊට එක්ව සිටි බවටයි වාර්තා වුණේ.
එමෙන්ම ඊයේ දිනයේදී බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ද බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර, ඔවුන් ඊට එරෙහිව ඉදිරි දින කිහිපයේදී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට ද තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති මෙම විරෝධතාව පිළිබදව නිවිතිගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව විෂය භාර ඇමතිනී තලතා අතුකෝරාළගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී ඇය කියා සිටියේ කුමන විරෝධතා දැක්වුවද නිසි ක්‍රමවේදයකට කටයුතු කිරීම හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බවයි.