Gossips

වැලිකඩ කාන්තා රැඳවියන්ගේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් සහ බන්ධනාගාර නිලධාරින් අතර ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇතිවූ ගැටුමෙන් සිදුවූ දේපළ හානියද මේ වනවිට තක්සේරු කරමින් සිටින බවයි.
සිද්ධියෙන් බන්ධනාගාරයේ උළුවලට සහ දොර ජනෙල්වලට හානි සිදුව තිබෙනවා.
එසේම ඊයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරින් 08දෙනා මේ වනවිට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, කාන්තා රැඳවියන් තුන්දෙනා තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා.
ඇති වු ගැටුම්කාරි තත්වයත් සමග අත්අඩංගුවට ගත් කාන්තා රැදවියන් පනස් දෙදෙනෙකු ඊයේ පස්වරුවේම වෙනත් බන්ධනාගාර වෙත යොමු කරනු ලැබුවා.
මේ අතර මෙම ගැටුම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදි අදහස් දැක්වූ එහි සභාපති නීතීඥ සේනක පෙරේරා, සාමාජික සුදේශ් නන්දිමාල් සහ එහි සාමාජිකා තරංගා දිල්රුක්ෂි කියා සිටියේ කාන්තා රැඳවියන්ට පහරදීම සඳහා පිරිමි නිලධාරීන් පැමිණි බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් එහිදී ඉල්ලා සිටියා.
මේ අතර අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරලද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද කොළඹදී අදහස් පළ කළා.
රැඳවියන් ඕනෑම බන්ධනාගාරයකට මාරු කිරීමේ බලය පනතින් බන්ධනාගාර ඇමතිවරිය ලෙස තමන්ට පවතින බව සඳහන් කළ ඇය කියා සිටියේ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය පැමිණෙන බවට ලැබෙන තොරතුරු අනුව මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.
මේ අතර මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සඳහා පිහිටවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද විවෘත කෙරුණා.
ඒ, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.
මෙම මහාධිකරණය පිහිටුවා ඇත්තේ අලූත්කඩේ රථවාහන අධිකරණය පිහිටා තිබූ ගොඩනැගිල්ල තුළයි.
එහි පළමු නඩුව ලබන සිකුරාදා කැඳවීමට නියමිතව තිබෙනවා.