Gossips

වැලිකඩ කාන්තා රැදවියන් සහ නිලධාරීන් අතර ගැටුමක් – නිලධාරීන් 8ක් රෝහලේ – 52ක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන් අතර, අද පස්වරුවේ ගැටුමක් හටගෙන තිබෙනවා.
ඉන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කාන්තා රැදවියන් පිරිසක් අදත් බන්ධනාගාරය තුළ උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර, පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක ද නිරත වුණා.
සිද්ධියට සම්බන්ධ කාන්තා රැදවියන් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සතියක් ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ දෙවන අවස්ථාව මෙයයි.
පසුගිය 13 වන දා කාන්තා රැදවියන් පිරිසක් මෙලෙසම විරෝධතාවක් ආරම්භ කළේ නඩු ප්‍රමාදයට සහ ප්‍රමාණවත් තරම් පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින්.
එහිදී ඔවුන් දින දෙකක් විරෝධතාවයේ නිරත වූ අතර, පසුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එය අවසන් කෙරුණා.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට කටයුතු කර තිබියදී අද උද්ඝෝෂණයේ නිරත වූ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් බවයි බන්ධානාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ.
මේ අතර, විරෝධතාවයේ නිරත වූ කාන්තා රැදවියන්ගේ ඥාතීන් පිරිසක් අද පස්වරුවේ බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් තම ඥාතීන්ට පහරදීමක් සිදුකර ඇති බවයි.