Gossips

වැලිකඩ කාන්තා රැදවියන්ගේ විරෝධතාව අතරතුර ගැටුමක් – 4ක් රෝහලේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ අද පෙරවරුවේයි.
මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම පිරිස වරින් වර අද දිනය තුළ වහලය මත නැගී සිය විරෝධය පළ කළ අතර, ඊට රැදවියන් 30කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ඒ අතරතුර බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ද බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් ආරම්භ කර ඇති මෙම විරෝධතාව පිළිබදව නිවිතිගල ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව විෂය භාර ඇමතිනී තලතා අතුකෝරාළගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී ඇය කියා සිටියේ කුමන විරෝධතා දැක්වුවද නිසි ක්‍රමවේදයකට කටයුතු කිරීම හැර වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බවයි.
මේ අතර, අද පස්වරුවේ විරෝධතාවයේ නිරත රැදවියන් අතර හට ගත් ගැටුමක් හේතුවෙන් කාන්තා රැදවියන් 4 දෙනෙකු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විරෝධතාව සම්බන්ධයෙන් රැදවියන් අතර ඇති වූ මතභේදයක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි.