Gossips

වැලිකඩින් පැන්නූ ශාන්ත මීමුරේදී කොටුවේ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රය තුළදී බන්ධනාගාර නිලධාරින් මුලාවට පත් කර පැහැර ගෙන ගිය මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මාසයකට ආසන්න කාලයක් පොලීසිය මග හැර දිවයිනේ විවිධ ස්ථානවල රැඳී සිට ඇති අතර, පසුව ඔහු මීමුරේ ප්‍රදේශයට පලාගොස් සිටියදීයි ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ රැඳී සිටි සිය දියණිය, මිතුරෙකු සහ මිතුරාගේ බිරිඳ ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ මොහු අත්අඩංගුවට පත්වුණේ මීට මාස 7 කට පමණ පෙරදීයි.
පසුගිය මස 17 වනදා බන්ධනාගාර නිලධාරින් ලෙස වෙස් වලාගෙන පැමිණි පිරිසක් ඔහුව පැහැර ගෙන ගිය බවට හෙළි වුණා.
මෙය සිදුව තිබුණේ සැකකරු නඩු කටයුත්තක් සඳහා කෑගල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් නැවත රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන ආ අවස්ථාවේදීයි.
ඊට සම්බන්ධ සැකකරුවන් ද හඳුනාගෙන ඇති අතර, ඔවුන් ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ.
දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට පැවසෙන පාතාල නායක මාකඳුරේ මධූෂ් නමැත්තා විසින් මෙම පැහැර ගෙන යාම සැලසුම් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.