Gossips

වැරදීමකින් කළුතරදී ඇල්ලූ පොලීසියේ තුන්දෙනාට නිදහස

පොලිස් විශේෂ කාර්ය බලකාය කළුතරදී පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ තුන්දෙනෙකු අත්අඩංගුවට ගත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදීමකින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරුණු බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කොල්ලකෑමට සුදානම්වීමක් සම්බන්ධයෙන් සැකපිට පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ පෙරවරු 5.45 ට පමණ අත්අඩංගුවට ගත් බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කළා.
ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදුන් බවයි එහිදී වාර්තාවුණේ.
කෙසේ වෙතත් සිද්ධිමය කරුණු පිළිබඳ වැරදීමකින් විශේෂ කාර්ය බලකාය ඔවුන් අත්අඩංගුවට ගත් බව පසුව අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සිවිල් පුද්ගලයන් පස්දෙනාගෙන් තුන්දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, තවත් අයෙකු පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තවත් අයෙකු මුදාහැරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.