Gossips

වැරදි තිබුනොත් තේරීම් කමිටුව ඉවත් කරනවා – ක්‍රීඩා ඇමති

අසාධාරණයට එරෙහිව හඬ අවදි කිරීම නිසා සිය ක්‍රීඩා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබඳ මෙරටින් අසන්නට ලැබෙන්නේ වරක් දෙවරක් නොවේ.
අද රෙඩ් කාඩ් විශේෂාංගය වෙන් වන්නේ ක්‍රිකට් බලධාරීන්ගේ තවත් එවන් අකටයුත්තක් පිලිබඳ හෙලිදරව්ව්වක් වෙනුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලය පුරාවට මුහුණ දෙන කඩාවැටීම ක්‍රීඩකයන්ගේ ගිණුමට පමණක් බැර කිරීමට උත්සාහ දරන මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ නවතම බිල්ල බවට පත්වුණේ ඇන්ජලෝ මැතිව්ස්.
ආසියානු කුසලාන තරගාවලියේ ලද අවමන් සහගත පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට මෙන්, නායකයාට ඉල්ලා අස්වන ලෙස පුහුණුකරු ඇතුළු තේරීම් කමිටුව දැනුම් දෙනවා.
කෙසේ වෙතත් මැතිව්ස් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ මෙම තීරණය හරහා හෙළි වන බලධාරීන්ගේ නිරුවත ද සමාජයට නිරාවරණය කරමින්.
තමන් සමග එක්ව තීරණ ගත් පුහුණුකරු සහ තේරීම් කමිටුවම තමන්ට ඉල්ලා අස්වීමට පවසන බව කියවෙන මැතිව්ස්ගේ හෙළිදරව්ව සමාජයට හිතන්නට යමක් ඉතිරි කර තිබෙනවා.
එනම්, එකම වරදක චූදිතයන් පිරිසක් එම නඩුවේම විනිශ්චයකරුවන් බවට පත් වීම කෙතරම් සදාචාර සම්පන්නද ? යන්නයි.
මේ අතර, තමන්ගේ අකටයුතුකම් පිලිබඳ මාධ්‍යට සහ රටට අනාවරණ කිරීමේ වරදට ක්‍රිකට් බලධාරීන් මැතිව්ස්ට එරෙහිව අවි අමෝරා ඇති බවක් ක්‍රිකට් ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වනවා.
ඒ එළඹෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවත් කරමින්.
ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ නිසි පරීක්ෂණයකින් හෝ තොරව, ශාරීරික යෝග්‍යතාව පිලිබඳ ප්‍රශ්නයක් මතු කරමින් මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව සැරසෙන බවයි.
පසුගිය වසරේ එක්දින පිටියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වන මැතිව්ස් තමන්ට යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය බව තේරීම් කමිටුවට දන්වා ඇති බවද වාර්තා වනවා.
මෙම සිදුවීම් හරහා හැඟී යන්නේ බලධාරීන්ගේ අකටයුතුකම් හමුවේ සිය හඩ අවදිකළ ලසිත් මාලිංග වසරකට ආසන්න කාලයක් හුදෙකලා කළ අයුරින්ම මැතිව්ස් හටද සැලකීමට තේරීම් කමිටුව සැරසෙන බවයි.
තමන්ගේ පිතිකරණ ස්ථානය හෝ කණ්ඩායමේ ස්ථානය පිලිබඳ අවබෝධයක් නොමැති ක්‍රීඩකයන්ගෙන් මෙම තේරීම් කමිටුව ස්ථාවරත්වයක් බලාපොරොත්තු වන්නේ කෙසේද යන්න ගැටළුවක්.
අවාසනාවකට කරුණ වන්නේ ක්‍රීඩකයන්ගේ දස්කම් පිලිබඳ සොයා බැලීම වෙනුවට තේරීම් කමිටු ප්‍රධානියාගේ වැඩි අවධානය තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම වෙත යොමුව තිබීමයි.
ප්‍රතිපත්තියකින් තොර තේරීම් කමිටුවක් හරහා ගන්නා හානිකර තීරණ හමුවේ ක්‍රිකට් ආයතනය ද මුණිවත රැකීම තවත් කනගාටුවට කරුණක්.
වසර ගණනාවක් පුරා කලින් කලට වෙනස් වූ ක්‍රිකට් මහා පුටුවේ ඉඳගත් බලධාරීන් තමන්ගේ ස්ථානය රැකගැනීමට ගත් ජනප්‍රිය තීරණ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම මේ වන විට මෙරට ක්‍රීඩා ලෝලීන් නොඅඩුව
අත්විඳිමින් සිටිනවා.
වඩාත්ම සෝචනීය කරුණ වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද නිසි බලධාරියෙකු හරහා පාලනය වන වත්මන් ක්‍රිකට් පරිපාලනය ද හිසේ රුදාවට කොට්ටය මාරු කිරීම හැර වෙනත් ප්‍රතිකාරයක් නොදැන සිටීමයි.
මේ අතර, ක්‍රිකට් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය පිළිබඳ අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.