මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම හේතුවෙන් තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව අද පස්වරුවේ රැස්වූ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.
එම සන්ධානය නියෝජනය කරන රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ කියා සිටියේ රුපියල් බිලියන 03 ත්, 04ත් අතර පවතින දෛනික රේගු ආදායම හෙට දිනය වනවිට ඉන් 25%ක පමණ මට්ටමකට අඩුවනු ඇති බවයි.
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ.
රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.
ඔවුන් චෝදනා කළේ පරිපාලන සේවයේ හෝ රේගු සේවයේ නිලධාරියෙකු අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කිරීම සාමාන්‍ය සම්ප්රදාය වූවද, එය උල්ලංඝනය කරමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය කේ.ජේ.සී. ෂෙමාල් ප්‍රනාන්දුව එම තනතුරට පත් කිරීම පිළිගත නොහැකි බවයි.
එසේම, ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයන හා විමර්ශන අංශවල සාමාන්‍ය සේවා කටයුතු 75% ක පමණ ප්‍රතිශතයකින් බිඳ වැටී ඇති බවයි වාර්තා වූයේ.
කෙසේ වෙතත්, කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරායේ මගී සේවා සහ අපනයන අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, කඩිනම් විසඳුමක් නොලැබුනහොත් එම අංශවලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් පසුගිය 27 වැනිදා යෝජනා කර ඇත්තේ දැනට රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ පී.එස්.එම්.චාල්ස් මුදල් අමාත්‍යාංශයේ නව තනතුරකට පත් කිරීමටයි.
එසේම, රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය කේ.ජේ.සී. ෂෙමාල් ප්‍රනාන්දු පත්කරන ලෙස ද ඔහු එමගින් යෝජනා කර තිබුණා. එහෙත් පසුගිය කැබිනට් රැස්වීමේදී, ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රේගු අධ්යක්ෂ ජනරාල් ධූරය සඳහා වන නව පත් කිරීමට එකඟ නොවන බවයි.
මේ අතර, රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන එච්.ජී.සුමනසිංහ පත් කළ බව මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයින්ද රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට විරෝධය පළ කළා.
මේ අතර, අද පස්වරුවේ රේගු වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.