Gossips

වැඩබලන ඇමතිවරුන් 4 දෙනෙකු දිවුරුම් දෙයි – පූර්ණ කැබිනට් සංශෝධනය අලූත් අවුරුද්දෙන් පසු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරවල වැඩබලන අමාත්‍යවරුන් 04 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති දිවුරුම්දීමේ අවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ සියලූදෙනා කැඳවා තිබූ අතර, මේ අනුව දයාසිරි ජයසේකර දැරූ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆායි.
චන්දිම වීරක්කොඩි දැරූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ මෙන්ම, සුසිල් ප්‍රේමජයන්ත දැරූ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා අමාත්‍ය , ආචාර්ය සරත් අමුණුගම පත් කෙරුණා.
එස්.බී. දිසානායක යටතේ පැවති සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ධුරයේ මෙන්ම ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න දැරූ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ධුරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මලික් සමරවික්‍රමයි.
අනුර ප්‍රියදර්ශන යාපා දැරූ ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ මෙය තාවකාලික පත් කිරීමක් බවයි.
පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු සිදුකිරීමට නියමිත බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
එහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ තමන් ඉදිරියටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින බවයි.
අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේදී ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා යළි ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටි බවයි හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.