Gossips

වැඩපෙන්වූ මාලිංග සමඟ නුවන් තුෂාර අද පිටියට එයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට CCC ක්‍රීඩා සමාජය හා NCC ක්‍රීඩා සමාජ සමත්වූවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය අද (08) පස්වරු 2 කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.
ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරඟයේ දී තරගයෙන් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ලකුණු 42 කින් පරාජය කිරීමට CCC ක්‍රීඩා සමාජය සමත්වූවා.
තරඟයේ කාසියේ වාසිය දිනූ ද්‍රවිඩ සංගම් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් CCC කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 173ක් රැස්කරගත්තා.
එහිදී කණ්ඩායම ඉහළට ඔසවා තැබූ සුවිශේෂ ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 72 ක අගනා සම්බන්ධතාවක් වනිඳු හසරංග සහ මලින්ද වර්ණපුර ගොඩනැගුවා.
වනිදු හසරංග රැස්කළ ලකුණු සංඛ්‍යාව 74 ක්.
එයට හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් එක්වුණා.
පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ද්‍රවිඩ සංගම් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 131 ක් පමණයි.
එහිදී CCC කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ සචිත් පතිරණ ලකුණු 17 කදී කඩුලු 4ක් දවාගැනීමට සමත්වූවා.
නුවන් තුෂාර කඩුලු 2 ක් දවාගත්තා.
දෙවන අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ NCC කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතරයි.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 1 කදී සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 102 ක්.
බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 3 යි පන්දු 1 ක් යොමුකරමින් කඩුලු 3 ක් දවාගත්තා.
සචින්ත පීරිස් කඩුලු 2 ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ NCC කණ්ඩායම කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකරගියා.
එහිදී නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු උදාර ලකුණු 27 බැගින් රැස්කරගත් අතර භානුක රාජපක්ෂ ලකුණු 25 ක් රැස්කරගත්තා.