Gossips

වාහන බදු ඉහළ දැමුවේ බදු විෂමතා ඉවත් කිරීමටයි – මුදල් ඇමති

අයවැයෙන් රථ වාහන සඳහා බදු ඉහළ දැමූවේ බදු විෂමතා ඉවත් කිරීමේ අරමුණින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
අයවැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
කෙසේ වෙතත්, අදාළ සුඛෝපභෝගී බද්ද ගණනය කිරීමේ දෝෂ පවතින බවට වාහන ආනයනකරුවන් චෝදනා කරනවා.
2019 වර්ෂය සඳහාවන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ මෝටර් රථ වාහන සඳහාවන නිෂ්පාදන බදු සංශෝධනය කරන බවයි.
ඒ අනුව සුඛෝපභෝගී වාහන මත නව සුඛෝපභෝගී බද්දක්ද පැනවීමට කටයුතු කළා.
අයවැය යෝජනා වල දැක්වුණේ, සුඛෝපභෝගී ඩීසල් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 3.5 ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන අතර අමතර අගය සඳහා 120‍%ක නව බද්දක් පැනවෙන බවයි.
සුඛෝපභෝගී පෙට්‍රල් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලිනය 3.5 ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස්වන අතර අමතර අගය සඳහා 100%ක නව බද්දක් පැනවෙනවා.
සුඛෝපභෝගී දෙමුහුන් ඩීසල් වාහන රුපියල් මිලියන 4ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කරල අමතර අගය සඳහා 90‍%ක බද්දක් සහ සුඛෝපභෝගී දෙමුහුන් පෙට්‍රල් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 4ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර අමතර අගය සඳහා 80%ක බද්දක් පනවා
තිබෙනවා.
සුඛෝපභෝගී විද්‍යුත් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 6ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කරන අතර අමතර අගය සඳහා පනවා ඇති බද්ද 60‍%ක්.
ඒ අනුව හොන්ඩා සිවික් මොටර් රථයක් සඳහා රුපියල් 250,000ක නිෂ්පාදන බද්දට අමතරව රුපියල් 1,200,000ක නව සුඛෝපභෝගී බද්දක් පැනවෙන අතර එහි සමස්ත බදු ප්‍රමාණය රුපියල් 1,450,000කින් ඉහළ යනවා.
හොන්ඩා CVR රථයක නිෂ්පාදන බද්ද රුපියල් 675,000 ක් වන අතර රුපියල් 2,300,000ක නව සුඛෝපභෝගී බද්දක් පනවා තිබෙනවා.
ඒ අනුව එහි සමස්ත බදු ප්‍රමාණය ඉහල යන්නේ රුපියල් 2,975,000කින්.
අවුඩි Q2 සහ අවුඩි Q3 රථවල නිෂ්පාදන බද්ද රුපියල් 250,000ක් සහ නව සුඛෝපභෝගී බද්ද රුපියල් 2,500,000ක් වන අතර එම රථ වල සමස්ත බදු ප්‍රමාණය රුපියල් 2,750,000 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මර්සිඩීස් බෙන්ස් CLA180 සහ මර්සිඩීස් බෙන්ස් GLA වර්ගයේ රථ සඳහා නිෂ්පාදන බද්ද 400,000ක් වන අතර අලුතින් පනවා ඇති සුඛෝපභෝගී බද්ද රුපියල් 3,500,000ක්.
ඒ අනුව එම රථවල සමස්ත බදු ප්‍රමාණය 3,900,000ක් දක්වා ඉහල යනවා.
මර්සිඩීස් බෙන්ස් C200 රථයක් රුපියල් 675,000ක නිෂ්පාදන බද්දකට යටත් වන අතර රුපියල් 4,000,000ක නව සුඛෝපභෝගී බද්දත් සමග එහි සමස්ත බදු ප්‍රමාණය ඉහල යන්නේ රුපියල් 4,675,000කින්.
BMW 318i සුඛෝපභෝගී මොටර් රථයක් සඳහා පැනවෙන නිෂ්පාදන බද්ද රුපියල් 675,000ක් වන අතර රුපියල් 3,500,000ක නව සුඛෝපභෝගී බද්දක් පනවා තිබෙනවා.
එම රථයක සමස්ත බදු ප්‍රමාණය රුපියල් 4,175,000ක් දක්වා ඉහල යනවා.
BMW X1 වර්ගයේ මොටර් රථයක නිෂ්පාදන බද්ද රුපියල් 675,000ක්.
එම රථ සඳහා රුපියල් 4,000,000ක නව සුඛෝපභෝගී බද්දක් පැනවීමත් සමඟ එහි සමස්ත බදු ප්‍රමාණය රුපියල් 4,675,000ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ලෑන්ඩ් රෝවර් – රේන්ජ් රෝවර් වර්ගයේ මොටර් රථයක් සඳහා රුපියල් 1,400,000ක නිෂ්පාදන බද්දක් සමඟ රුපියල් 17,500,000ක නව සුඛෝපභෝගී
බද්දක් පනවා තිබෙනවා.
ඒ අනුව එහි සමස්ත බදු ප්‍රමාණය දැක්වෙන්නේ රුපියල් 18,900,000ක්.
මේ අතර සුඛෝපභෝගී වාහන මත නව බද්දක් පැනවීමත් සමඟ මතුවන තත්ත්වයන් සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් පලකළා.
මේ අතර පසුගියදා අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ අංශ කිහිපයක බදු සහ 2016 වසරේ සිට සංශෝධනය නොවූ
ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව ක්ෂේත්‍ර රැසක බදු සහ ගාස්තු ඉහල යාමක් සිදුව තිබෙනවා.