Gossips

වාරියපොළ දී පැහැරගත් බව කියූ තරුණිය ගැන තොරතුරු හෙළිවේ

පැහැර ගැනීමට ලක් වූ බවට වාර්තා පළ වූ වාරියපොළ – වේරපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණිය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ තරුණිය පැහැර ගැනීමට ලක්ව නොමැති අතර විවාහය මඟ හැරීම සඳහා ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ පැනගොස් ඇති බවටයි.
නිවස ආසන්නයේ පදිංචි තරුණයෙකු සමඟ මෙම තරුණිය ප්‍රේම සබදතාවක් පවත්වා ඇති අතර දෙමව්පියන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ ඔවුන් මෙලෙස පැනගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් ඇයගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (05) දිනයේදී ඇය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවටයි.
මේ අතර විවාහ වීමට නියමිතව සිටියදී අතුරුදන් වූ මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයා පිළිබඳ මෙතෙක් තොරතුරක් ලැබී නැහැ.
පසුගිය ඉරිදා සිය විවාහයට අවශ්‍ය කලමනා ලබාගැනීම සඳහා පිටකොටුවට පැමිණ ඇති අතර, එහිදී මොහු අතුරුදන්ව ඇති බවටයි පවුලේ ඥාතීන් සැක පළ කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් තරුණයාගේ පවුලේ ඥාතීන්ගෙන් මතුගම පොලිසිය අද (05) පෙරවරුවේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.