Gossips

වාර්තා පොත් අලුත් කරමින් පන්ජාබ් රජවරු ජය ලබයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දෙවන තරඟය ලෙස චන්ද්‍රිගාද් හි ඊයේ (08) පැවති තරඟයකින් ජය ගන්නට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.
දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම පරදා මෙම තරඟය පන්ජාබ් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 06කින්.
තරඟයේ කාසිය වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 166ක්.
එහිදී දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් නායක ගෞතම් ගම්භීර් පන්දු 42කදී ලකුණු 55ක් රැස්කරනු ලැබුවා.
රිෂබ් පාන්ට් ලකුණු 28ක් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස් මොරිස් ලකුණු 27ක් ද රැස් කළා.
පන්දු යැවීමේදී මෝහිත් ශර්මා සහ මුජිබ් රහමන් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් වුණා.
ලකුණු 167ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පන්ජාබ් ආරම්භක පිතිකරුවන් යුගලය වේගවත් ආරම්භයක් ලබාදුන්නේ අයි.පී.එල්.තරඟ ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව කිංග්ස් ඉලවන් පන්ජාබ් ආරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් තම නම ඉදිරියේ සටහන් කර ගනිමින්.
රාහුල් අර්ධශතකය වාර්තාකළේ පන්දු 14කදියි.
පන්දු 16ක් තුල ලකුණු 51ක් ලබා ගෙන සිටියදී දැවීයන විට ඔහු හතරේ පහර 06ක් සහ හයේ පහර 04ක් වාර්තාකර තිබුණා.
මීට පෙර පන්දු 15කදී අර්ධශතකය වාර්තාකරමින් වේගවත්ම අයි.පී.එල්. අර්ධශතකයට හිමිකම් වාර්තාවට යුසුෆ් පතාන් සහ සුනිල් නාරායන් හිමිකම් කීවා.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් කරුන් නාර් පන්දු 33කදී ලකුණු 50ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා රැගෙන ගිය අතර නොදැවී ලකුණු 24ක් සහ 22ක් රැස් කළ ඩේවිඩ් මිලර් සහ මාකස් ස්ටෝයිනස් පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
තරඟයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ලෝකේශ් රාහුල් සමත් වුණා.
මෙවර තරඟාවලියේදී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරන ප්‍රවේගකාරී පිතිකරු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙම තරඟය සඳහා ක්‍රීඩා නොකිරීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.
ලෝකේශ් රාහුල්ගේ වාර්තාගත ඉනිම පහතින් නරඹන්න..