Gossips

වාද්දුව මත්පැන් සාදයේ මිය ගිය ගණන 4 වෙයි

වාද්දුවේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගාතුරව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පුද්ගලයාද අද ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අනුව සිද්ධියෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගොස් ඇති අතර, මීට පෙර අවුරුදු විස්ස, තිස් එක සහ තිස් හය යන වයස්වල පසුවන තරුණයින් තුන්දෙනෙකු සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා. අද මිය ගිය පුද්ගලයා 28 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 4 වන දා රාත්‍රී කාලයේ පෞද්ගලික සමාගමක් විසින් අදාළ සාදය පවත්වා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වීමෙන්.
ඊට විශේෂ ආරක්ෂාවක් ද සපයා තිබූ බව සඳහන්.
මිය ගිය පුද්ගලයින් සාදය අතරතුර රෝහල් ගත කර තිබුණේ අධික උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන්.
කෙසේ වෙතත්, මරණ වලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඒ පිළිබඳ ඉදිරි පරීක්ෂණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පානදුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය පී.ජී. හේමන්ත කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.