Gossips

ව්‍යාපාරිකයෙක් පැහැරගත් තුන්දෙනෙකු, අධිවේගයේදී අල්ලයි

අහංගම නගරයේ ව්‍යාපාර කටයුතුවල යෙදුණු පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොලෙහි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (15) අත්අඩංගුවට ගත් මොවුන් අහංගම පොලීසියට භාරදීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයා සහ සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පරික්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.
එම සැකකරුවන් තුන්දෙනාගෙන් ව්‍යාපාරිකයා මීට පෙර ණය මුදලක් ලබාගෙන ඇති අතර, එය ගෙවීම පැහැර හැර ඇති බවටයි සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ.
එම ණය මුදල ගෙවීම පැහැර හැරි මෙම ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් පලාගොස් අහංගම ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ණය මුදල ලබා නොදී ප්‍රදේශයෙන් පලායාම හේතු කොටගෙන මෙම පැහැරගැනීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ණය මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් අහංගම පොලීසියට මීට පෙර පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.