ව්‍යාකූලත්වයට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි… ජනපති – අගමැති බල පොරයයි…
රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. රටේ ඇතිවී තිබෙන අරාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා…
“මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික තත්ත්වය ගැන විවාදයක් පැවැත්විය යුතුයි කියලයි මේ විවාදය පවත්වන්න තීරණය කළේ. මේ විවාදය ගැන විවිධ අර්ථකථන මතුකරමින් තිබෙනවා.
මෙම මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සමහරු අර්ථ කථනය කරනවා.
ජනමත විචාරණයක තියෙන්නේ කඳවුරු දෙකයි. එහෙනම් ජනමත විචාරණයක් යැයි කියන කණ්ඩායම පරාජය වී තිබෙනවා. මෙය ජනමත විචාරණයක් යැයි කීමම තමයි ආණ්ඩුවට වාසි සහගත වෙන්නේ.
මෙය ජනමත විචාරණයක් නොවෙයි. මේ මැතිවරණයට එක් එක් දේශපාලන ධාරාවන් තම තමන්ගේ දේශපාලන මතයක් එක්ක ඉදිරිපත් වුණා. පළාත් පාලන මැතිවරණ විග්රහ කළොත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන්නේ ආණ්ඩු පාර්ශ්වය. හැබැයි මෙවර ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව විශාලම පසුබෑමකට ලක්වී තිබෙනවා.
එජාපය බරපතලම කඩා වැටීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ශ්රීලනිපය ජනාධිපතිධුරයත් අතේ තියාගෙන මැතිවරණයට එළඹුනා. ශ්රීලනිපය ඩාලි පාරේ නෙමෙයි වෙන තැනක තිබෙන බව පෙන්නුම් කර තිබෙනවා. එය පිළිගත යුතුයි.
අපි අපේකෂා කළ ප්‍රතිඵලය නොවූවත් වැඩිපුර ඡන්ද අරගෙන තිබෙනවා. මේ මැතිවරණයෙන් උතුරේ දේශපාලන ප්‍රතිඵලය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ මැතිවරණය හැම දේශපාලන ව්‍යාපාරයක් ගැනම නැවත හැරී බලන්න උගන්වනවා.
මේ අරාජිකත්වය පැණ නැගුනේ ඡන්ද ප්‍රතිඵලය මත නොවෙයි. ආණ්ඩුව ඉතා නිශ්චිත ලෙස කණ්ඩායම් දෙකක් ලෙස තමයි කටයුතු කළේ. ඒ ගැටුම කොච්චර තීව්ර වුණාද කියනවා නම් මැතිවරණයෙන් පසු එකට සිටීමට නොහැකි වුණා.
2015 ජනවාරි 08 වැනිදා ජනතාව විශාල ජනවරමක් දුන්නා ජනාධිපතිට සහ අගමැතිට. ජනාධිපතිගේ පැත්තෙන් කල්පනා කළා එය අනභිබවනීය බලයක් කියලා. නැවත වරක් ඒ පුටුවේ වාඩි වෙන්න පුළුවන්ද කියලා බලන්න ගත්තා.
අගමැතිවරයාට විධායක පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. ජනවාරි අට වැනිදායින් පස්සේ ඔහු බැලුවා මේ විධායක පුටුවේ වාඩිවෙන්න පුළුවන්ද කියලා. 2015 නියම ප්‍රතිඵලය මේ දෙදෙනාම අමතක කළා.
මේ අවුරුදු තුනම දියත් වුණේ මේ දෙදෙනාම එළඹෙන ජනාධිපතිවරණයකදි පුටුවේ වාඩි වීමට කරන දාදු කෙළියක් විදියට. ජනවාරි අට ජනවරමට පිටුපස හැරෙව්වා. වංචාවන්ට දූෂණයන්ට එරෙහිව වැඩ කළ ආයතන අඩපන කළා. මේ ආණ්ඩුව දැමූ පළවෙනි නඩුව තමයි ලලිත් වීරතුංගට විරුද්ධ නඩුව. එම නඩුවේ තීන්දුව අතිශය වැදගත් වුණා. දූෂිතයන් පිළිබඳ ගොඩ නගා තිබූ මතය සැබෑවක්ද නැද්ද කියන එක බලන්න. හැබැයි මොකද වුණේ?
ඒ නඩුව වෙනුවෙන් පෙනී හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගය කළේ නෑ. ලලිත් වීරතුංග සිරගත වූ වහාම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ගිහින් අගමැති හමුවුණා. අභියාචනාධිකරණයේ නඩුව ගොනු කළා. හයිකෝට් එකට ගිහින් ඇප ඉල්ලුවා. මේක වංචාවක් කියලා තර්ක කරපු තුසිත මුදලිගේ කියන ජ්‍යෙෂ්ඨ නීතීඥයා ඇප ඉල්ලන දවසේ උසාවි ගියේ නැත්තේ ඇයි? තමුන්නාන්සෙලාගේ උපදෙස් ආවා ඇප ඉල්ලනවට විරුද්ධ නොවන්න කියලා. වංචාවන්ට දූෂණයන්ට එරෙහි ආයතන අඩපණ කළා.
නීතිපති දොපර්තමේන්තුවේ නිලධාරීන් කිව්වා දූෂිතයන් රකින්නේ ඇමැතිවරුන් නම් අපි ගිහින් කොහොමද නඩු කරන්නේ කියලා. වංචනිකයන්ට දඩුවම් දීම ගැන බලාපොරොත්තුව තමුන්නාන්සේලා ප්‍රතික්ෂේප කළා.
තමුන්නාන්සේලා ප්‍රබල වංචා දූෂකයන්ගේ හවුල්කාරයන් බවට පත් වුණා. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැතිව ගියා දූෂිතයන්ට දඬුවම් දෙන්න. මම අදත් අහනවා, දිල්රුක්ෂි ඩයස් අල්ලස් අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කළේ ඇයි කියලා මේ ආණ්ඩුව තවම පාර්ලිමේන්තුවට කියලා නැහැ. ඇය ගෝඨාභයට එරෙහිව නඩුවක් දැම්මා. පහුවෙනිදාම ඇයව මාරු කළා. අගමැති සහ ජනාධිපති ඇවිත් අභියෝග කළොත් මම සාක්කි ඇතිව පෙන්වනවා රැක්ක විදිය ගැන.
පරීක්ෂණ අඩපණ වුණේ පරීක්ෂණවලට බාධා කරන ආණ්ඩුවක් තිබුණ නිසයි.
මොන නිලධාරියාද අද ඇමැති නියෝග පිළිගන්නේ?
මුළු රටම අරාජික තත්ත්වයට පත් වුණා. මේකට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි. බලපොරයයි.
ජනවාරි 08වනදා එකතු වූ බලවේගයන් අය කවදාවත් එකට එකතුවෙන්නේ නැහැ. ඒක ජනවාරි 08වෙනිදාට විතරයි.
ජනාධිපතිවරයා ආයෙත් පුටුවේ වාඩි වෙන්න සිහින මවන්න එපා. අගමැතිවරයාත් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න සිහින දකින්න එපා.
දෙදෙනාම කරන බල සූදුව නතර කරන්න. ජනවාරි අට වැනිදා එකතු වූ බලවේග ආයේ කවදාවත් එකතු වෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ කුණුමාළු වගේ විකිණෙන අය ගොඩක් ඉන්නවා. කොට විකිණෙනවා වගේ විකිණෙන කණ්ඩායමක් ඉන්නවා. එහෙම ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුවක් ස්ථාවර කර ගන්න බැහැ.
ආණ්ඩුව ස්ථාවර කර ගත හැක්කේ ජනවාරි අට අභිලාෂය ඉටු කරනවා නම් පමණයි. අද ජනතාව වෙනදට වඩා සක්‍රීයයි. ජනවාරි අට වෙනිදා අභිලාෂය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටිනවා…”