Gossips

ව්‍යවස්ථා හොරගල් ඇහිලීම අවධානයෙන් සිටින්න – විපක්ෂ නායකගෙන් නිවේදනයක්

රටේ පවතින කෘෂිකාර්මික පලිබෝධ උවදුර, ණය උගුල ඇතුලූ අනේක විධ අර්බුද හමුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීම ගැන අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ, ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පතේ කරුණු උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කෙටුම්පතේ තිබෙන විධිවිධානවලට එරෙහි නොවන බවයි.
එහෙත් පාර්ලිමේන්තුව සහ මධ්‍යම ආණ්ඩුව හැකිතාක් දුර්වල කර පළාත් සභා බලසම්පන්න කිරීමේ පැහැදිළි රටාවක් එහි දක්නට ලැබෙන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය ඇතුලූ හවුල, නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා, ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලූදු වී ඇති බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.
බුද්ධාගමට හිමි ස්ථානය සහ ඒකීය යන වචනය ගැන ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂාකාරී විය යුතු බවද ඔහු සඳහන් කරනවා.
විශේෂයෙන්ම මහා සංඝරත්නය අදාළ තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් පසුවිය යුතු බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා කෙටුම්පත ගැන නිකුත් කළ නිවේදනය මෙතැනින්