Gossips

ව්‍යවස්ථා වෙනසක අරමුණ විය යුත්තේ, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

යහපත් රටක් නිර්මාණය කිරීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත්, එහිදී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටුකර ගැනීමේ වෙනසක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හොරණ – ඵෙතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ ඊයේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව අද ඇතමුන් කථා කළත්, තමා අතට තවමත් එවැන්නක් පත්වී නොමැති බවත්, ඒ පිළිබඳව දැනුවත්වීමක්ද සිදුවී නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම, ව්‍යවස්ථාවක් පිළිබදව කතා කිරීම එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීමක් වන අතර, අනෙක් පැත්තෙන් උතුරේ ජනතාව රැවටීමක් බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් එහි ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ සඳහා තම සහයෝගය හිමි වන බව ද සඳහන් කළා.
හොරණ – ඵෙතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සඟ සතු කොට පූජා කිරීම ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඊට අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් ද එක්ව සිටියා.
එමෙන්ම එම පුණ්‍ය උත්සවයට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම අමාත්‍යවරුන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අතර, මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද පෙරවරුවේ රාජගිරියේදී සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.