Gossips

වස දමා සෝමාවතී රක්ෂිතයේ සතුන් මැරීමේ ජාවාරමක්

සෝමාවතිය අභයභූමිය ආසන්නයේ පිහිටි, නියඟය හේතුවෙන් සිඳී ගොස් ඇති සත්පත්තිනි වැවේ දිය කඩිතිවල ඉතිරිවී ඇති ජලය පානය කිරීමට පැමිණි සතුන් විශාල සංඛ්‍යාවක් වස ශරීර ගතවීමෙන් මියගොස් තිබෙනවා.
දින කිහිපයක සිට මෙලෙස මියගිය සතුන්ගේ සිරුරු දක්නට ලැබෙන අතර, ඒ හේතුවෙන් දැඩි දුර්ගන්ධයක්ද පවතින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ සෝමාවතිය අභයභූමියේ සිට පැමිණෙන මුවන්, ගෝනුන්, ඉත්තෑවන් සහ විවිධ පක්ෂීන්.
මෙම සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පොළොන්නරුව අඩවි වන නිලධාරී උපාලි කුලතුංගගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ සිදුකළ මූලික විමර්ශනවලදී ද මියගිය සතුන්ගේ සිරුරු නිරීක්ෂණය කළ බවයි.
එමෙන්ම වස වර්ගයක් ශරීර ගතවීමෙන් මෙම සතුන් මියගොස් ඇති බවට සනාථ වන සාධක පවතින බවද ඔහු සඳහන් කළා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ජලයට වස මිශ්‍ර කිරීම නිසා මියයන මෙම සතුන් අවට සංචාරක හෝටල්වලට මස් පිණිස අලෙවි කරන බවයි.
මෙම සිද්ධිය පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරියට සහ අඩවි වන කාර්යාලයට පැමිණිලි කළද විසඳුමක් ලැබී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ අතර ඊයේ දිනයේ මැදිරිගිරිය – බුද්දයාය ප්‍රදේශයේ නිවසක තිබී අලෙවිය සඳහා සූදානම් කර තිබූ වන සතුන්ගේ මස් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සත්පත්තිනි වැවේ ජලය පානය කර මියගිය වන සතුන්ගේ මස් මෙම නිවසේ තිබී හමුවූ බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
ප්‍රදේශවාසීන් එල්ල කරන චෝදනාව පිළිබඳව අප මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් වයි.එම්. කරුණාරත්නගෙන් විමසීමක් කළ අතර, ඇය සඳහන් කළේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මගින් මෙම සිදුවීම පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.
වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරටද මෙම සිද්ධිය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ නිලධාරීන් පිරිසක් සත්පත්තිනි වැව පිහිටි ප්‍රදේශයට පිටත්කර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බවයි.