Gossips

වසර 2 කදී අලින් 527 ක් මියයයි

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන වන අලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව පසුගිය වසර 2 ක කාලය තුළ වන අලි 527 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හක්ක පටස් ආහාරයට ගැනීම හේතුවෙන්.
වසරේ නොවැම්බර් දක්වා කාලය තුළ වන අලි 271 දෙනෙකු මියගොස් තිබෙනවා.
මීට අමතරව වෙඩි වැදීම්, විදුලි සැරවැදීම් මෙන්ම දුම්රිය සහ වෙනත් අනතුරු හේතුවෙන් වන අලි මියගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙන්නේ.
වන අලි මියයෑමේ ආසන්න සිද්ධිය අද අලූයම වාර්තා වූයේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව ප්‍රදේශයෙන්.
සෙල්ලං කන්දල් රක්ෂිතය ආසන්නයේදී මන්නාරම සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
වන අලියා ගැටීමෙන් පසුව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති අතර සිද්ධියෙන් බස් රථයේ කොන්දොස්තරවරයා තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කෙරුණා.
වන අලි මාරුවන ප්‍රදේශයක් බවට පුවරු සවිකර තිබියදි රියදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවට පොලිසිය සැක පළ කරනවා.
එමෙන්ම වැල්ලවාය – ආනපල්ලම – හතරේ කණුව ප්‍රදේශයට කඩාවැදුනු වන අලියෙකු හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණ දී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
අද අලූයම මෙම වන අලියා ගම්මානයට කඩාවැදී ඇති අතර, වගා රැසකට ද හානි සිදුකර ඇති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.
මේ අතර කරන්දෙණිය- කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමයේ වාර්ෂික පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියගියා.
ඊයේ පස්වරුවේ පැවති මෙම පෙරහැර කරන්දෙණිය – බොරකන්ද ප්‍රදේශය පසුකරනවාත් සමගම අලියා කුලප්පුවී ඇත්ගොව්වා දෙසට හැරී ඔහුට පා පහරක් එල්ල කර තිබෙනවා.
පසුව වනජීවී නිලධාරීන් පැමිණ අලියා නිර්වින්දනය කර රැගෙන ගොස් තිබෙනවා.