වසර 19කට පෙර කොරියාවේ දී 18 හැවිරිදි දැරියක් සමූහ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කොරියාවේ තේගු නැමැති ප්‍රදේශයේදී වයස අවුරුදු 18ක කොරියානු ජාතික තරුණියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වුණේ 1998 වසරේදීයි.
පසුව එරට පොලීසිය සහ බලධාරීන් එක්ව සිදුකළ විමර්ශනයකදී එම තරුණියගේ යට ඇඳුම් වෙනත් ස්ථානයක තිබී හමුවී ඇති අතර එහි ශුක්‍රාණු කොටස් තැවරී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ අනුව කොරියානු බලධාරීන් මෙම ශුක්‍රාණු වලින් ලබා ගත් ඩී.එන්.ඒ. යොදා ගනිමින් ඩී.එන්.ඒ. ආකෘතියක් වර්ධනය කරගෙන ඇති අතර, එම අවස්ථාවේදී මෙම අපරාධය සිදුකළේ කවුරුන් ද යන්න තොරතුරු හෙළි කර ගැනීමට හැකිව නැහැ.
මේ අතර, ඊට වසර 12කට පසුව එනම්, 2010 වසරේදී කොරියානු රාජ්‍යයේ රැකියාවකට ගොස් සිටි, ශ්‍රී ලාංකිකයෙකු එහිදී වෙනත් බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයකට මුදලට ආරාධනා කිරීමේ උත්සාහයක් හේතුවෙන් අධිකරණය හමුවේ වරදකරු වී තිබෙනවා.
අධිකරණය හමුවේ වැරදිකරු වූ මොහුගේ ඩී.එන්.ඒ. සාම්පල කොරියානු බලධාරීන් විසින් ලබාදෙන පසුව ඒවා ගබඩා කර ඇති බවයි වාර්තා වන්නේ.
2011 වසරේදී කොරියානු බලධාරීන් මීට පෙර ලැබී තිබූ හඳුනා නොගත් ඩී.එන්.ඒ. සාම්පල සමඟ අලුතින් ලැබුණු ඩී.එන්.ඒ. සාම්පල සසදා බැලීමේදී 1998 වසරේදී මිය ගිය තරුණියගේ යට ඇඳුම්වල තිබී හමුවූ ශුක්‍රාණුවලින් ගොඩනැගූ ඩී.එන්.ඒ. ආකෘති සමගින් සමාන වී තිබෙනවා.
ඉන් අනතුරුව 1998 වසරේදී ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පියා සිදුකළ ඉල්ලීම් මත කොරියානු බලධාරීන් මෙම ශ්‍රී ලාංකිකයාට එරෙහිව තේගු අධිකරණයේදී නඩු පවරා ඇතත්, එරට නීතියට අනුව ස්ත්‍රී දූෂණ වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ කාලසීමාව වසර 10ක් ඉක්මවා ගොස් තිබූ බැවින් අධිකරණය එම නඩුව ප්‍රතික්ෂේප කර තිබුණා.
මෙම සිදුවීමට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එම කාලසීමාව වන විට යළි සිය රට පැමිණ ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ පියා සහ මේ පිළිබදව උනන්දුවෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසරේ අගෝස්තු මස 28 වන දා කොරියානු රජය රාජතාන්ත්‍රික මට්ටමින් මේ පිළිබදව ශ්‍රී ලංකා රජයට කරුණු දක්වා තිබෙනවා.
ඉන් අනතුරුව මේ වසරේ මැයි 30 වන දා කොරියානු දූත පිරිසක් මේ පිළිබදව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියා.
ඔවුන් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී මේ පිළිබදව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොරියාවට ගොස් එහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අපරාධය සිදුවූ ස්ථානයේ ස්ථානීය නිරීක්ෂණයක් ද සිදුකළා.