Gossips

වසර 17 ක් තිස්සේ නොදුටු ජපන් පුතු සොයන 55 හැවිරිදි ලංකාවේ පියා

වසර 17 ක් තිස්සේ නොදුටු තම පුතු සොයා ගැනීමට වෙහෙසෙන ජපන් කාන්තාවක් සමඟ විවාහ වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ හිරු ප්‍රවෘත්ති අංශය සොයා පැමිණියා.
55 හැවිරිදි අසිත ප්‍රනාන්දු නැමති ඔහු ප්‍රකාශ කළේ ජපානයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය තමන්ට කිසියම් පිරිසක් දරුණු ලෙස පහරදී මියගිය බවට ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර කෝටි ගණනක වන්දි මුදලක් ලබා ගෙන ඇති බවයි.
90 දශකයේ ජපානයට ගොස් ඇති ඔහු එරට ව්‍යාපාරික කාන්තාවක් සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන 1996 වසරේදී මෙරටට පැමිණ විවාහ වී තිබෙනවා.
අනතුරුව අසිත ජපානයේ නගෝයා නගරයේ ආපනශාලාවක් ආරම්භ කර ඇත්තේ සිය බිරිඳගේ සහයෝගයෙන්.
එහෙත් එම කාන්තාව, නිවසට නිතර පැමිණි අසිතගේ ශ්‍රි ලාංකික මිතුරෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගැනීම නිසා ඔවුන්ගේ පවුල් ජීවිතය දෙදරා ගොස් තිබෙනවා.
දිනක් අවහන්හල වසා දමා රාත්‍රියේ නිවසට යමින් සිටි අසිතගේ මෝටර් රථය අනතුරට ලක්කරන ශ්‍රී ලාංකික මිතුරා ඇතුලු පුද්ගලයින් 03 දෙනෙකු අසිතට දරුණු ලෙස පහර දී ඇති අතර, ඔහු එරට රෝහලක මාස 04ක් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ කෝමා තත්ත්වයට පත් වීම හේතුවෙන්.
පසුව අසිතගේ පියා ඔහුව මෙරටට ගෙන්වා ආයුර්වේද ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
මේ වන විට ඔහු සුව අතට පත්වෙමින් සිටිනවා.
අසිතගේ ජපාන දේපල සහ ඔහුට ලැබිය යුතු වන්දි මුදල් ලබා ගැනීමට මෙරට ඥාතීන් කිහිපදෙනෙකුම පියවරගෙන ඇත්තේ අසිතගේ ජපන් ජාතික බිරිඳ මේ වන විට විවාහ කරගෙන සිටින ජපාන පොලිස් නිලධාරියාගේ ද සහයෝගයෙන්.
තම සහෝදරයා, සාලිය සිල්වා සහ හේමන්ත නැමැති පොලිස් නිලධාරීන් ඊට සම්බන්ධ බවයි අසිත පවසන්නේ.
ශරීරය නිසි ලෙස හසුරුවා ගැනීමට නොහැකි වුවත්, අසිත මේ වන විට 17 හැවිරිදි වියේ පසුවන තම දරුවා සොයා ගැනීමේ උත්සාහය අතහැර නැහැ.
ඒ සඳහා ඔහු ජපානයට නැවත වරක් ගොස් තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට, පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර ඇති නමුත්, මෙතෙක් අසිතට සාධාරණයක් ඉටු වී නැහැ.
මේ නිසා ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට සාධාරණය ඉටු කර දීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වන ලෙසයි.