Gossips

වසර 15කට පසු අඟහරු අද පෘථිවියට ළං වෙයි

මේ දිනවල අහසේ රත් පැහැයෙන් දිදුලන රතු ග්‍රහයා හෙවත් අඟහරු වසර 15කට පසු අද (31) පෘථිවියට සමීපතම ස්ථානයක පිහිටන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
හිරු බැස යාමත් සමඟ නැගෙනහිර ක්‍ෂිතිජයෙන් උදාවන අඟහරු අලුයම් කාලයේ බටහිර ක්‍ෂිතිජයෙන් බැස යනවා.
එතෙක් චන්ද්‍රයා හැරුණු කොට මේ දිනවල අහසේ දීප්තිමත්ම වස්තුව වන්නේ අඟහරු ග්‍රහයායි.
අඟහරු අද (31) දිනයේ පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් තරම් සමීපයට පැමිණෙන බවයි මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ.
දීප්තිමත් අඟහරු ග්‍රහයා මෙන්ම සෙනසුරු, බ්‍රහස්පතී සහ සිකුරු ග්‍රහලෝක ද නැගෙනහිර සිට බටහිර දෙසට විහිදුනු චාපයක ආකාරයෙන් පිහිටන චමත්කාර දසුනක් ද මේ දිනවල දැක ගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
පෘථිවියට සමීප වන රතු ග්‍රහයා දුරේක්ෂ මගින් නැරඹීමේ නිරීක්ෂණ කඳවුරක් ද අද (31) රාත්‍රී 7 සිට 10 දක්වා කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේ සංවිධාන කර තිබෙනවා.