Gossips

වසර 09 කට පසු කරච්චි නුවර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක්

වසර 09 කට පසු ප්‍රථම වරට පාකිස්ථානයේ කරච්චි නුවර අද (01) ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා.
එහිදී පාකිස්ථානය සමඟ තරඟ වදින්නේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
කොදෙව් පිල සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 03 ක් පැවැත්වෙන අතර, එම තරඟ 03 ම කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීම විශේෂත්වයක්.
අද පැවැත්වෙන පළමු තරගය සඳහා එහි දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ පාකිස්ථාන සුපර්ලීග් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහ තරගය එහි පැවැත්වීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත් බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන ක්‍රිස්ගේල්, ජේසන් හෝල්ඩර් හෝ එවින් ලුවිස් තරගාවලියට එක් නොවන අතර විස්සයි විස්ස නායක කාලෝස් බ්‍රාත්වේට් ද අවසන් මොහොතේ කණ්ඩායමෙන් ඉවත් වුණා.
මේ නිසා සංචාරක කොදෙව් පිලේ නායකත්වය මෙහෙයවනු ලබන්නේ උපනායක ජේසන් මොහොමඩ් විසින්.
2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් බස් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ජාත්‍යන්තර කණ්ඩායම් එහි සංචාරය කිරීම නතර කරනු ලැබුවා.