Gossips

වසර දෙකකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාවක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) සවස 7ට ආරම්භවීමට නියමිතයි.
අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් කැදවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව අද තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය විය හැක්කේ,
දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්.
මේ අතර ඉකුත් දෙසැම්බර් මාසයේ ඉන්දියාවේදී පැවැති විස්‌සයි විස්‌ස තරගාවලිය 3 – 0 ක්‌ ලෙස ශ්‍රී ලංකාව පරාජය වූ අතර දෙරට අද විස්‌සයි විස්‌ස තරගයකදී මුණ ගැසෙන්නේ 15 වතාවටය.
නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව විස්‌සයි විස්‌ස තරගවලදී ජයග්‍රාහී ප්‍රතිශතය 71.42% ක්‌ රඳවා ගැනීමට ඉන්දියානුවන් සමත් වෙද්දී දෙරට මෙතෙක්‌ මුණ ගැසුණ අවස්‌ථා 14 න් ශ්‍රී ලංකාව සිවු වරක්‌ සහ ඉන්දියානුවන් දහවරක්‌ වශයෙන් ජය ලබා තිබේ.
වසර දෙකකින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස තරඟයක්‌ ජය ගෙන නොමැති අතර ඒ අතරවාරයේ සහභාගි වූ තරඟ හතම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.
ඒ අනුව වසර දෙකකට පසු ඉන්දියාව පරාජය කිරීමේ අවසථාව අද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවනවා.
අවසන් වරට ඉන්දියානුවන්ව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ 2016 වසරේදී පූනේහි පැවැති තරඟයකදීය.
කෝලි නොමැති ඉන්දියානු පිල මෙහෙයවන රෝහිත් ෂර්මා පසුගිය දෙසැම්බර් මාසයේදීත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්‌සයි විස්‌ස තරගාවලියේ ඉන්දියාව මෙහෙය වූ අතර එහිදී ඔහු ඉන්දෝර් හිදී පන්දු 43 කදී හයේ පහර දහයක්‌ සහ හතරේ පහර 12 ක්‌ සමඟ ලකුණු 118 ක්‌ ලබා ගත්තා.
නමුත් මෙවර ශ්‍රී ලංකා පිල දක්ෂතාවයෙන් මුවහත්ව සිටීම ෂර්මා ඇතුළු කණ්‌ඩායමට අභියෝගයක්‌ වී තිබෙනවා.
වත්මන් ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ ඉන්දියානුවන්ට එරෙහිව අර්ධ ශතකයක්‌ වාර්තා කිරීමට සමත්ව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාය.
මීට මාස හතරකට ඉහත ඉන්දෝර්හිදී ඔහු පන්දු 37 කදී හතරේ පහර 11 ක්‌ සහ හයේ පහර හතක්‌ සමඟ ලකුණු 77 ක්‌ ලබාගැනීමට සමත් විය.
මේ තරගාවලියට එක්වන ප්‍රබලම කණ්ඩායම ඉන්දියව දැයි මාධ්‍යවේදියෙවෙක් රෝහිත් ෂර්මාගෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළා.
ඊට රෝහිත් ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.
"ඇත්තටම විස්සයි විස්ස තරඟයකදී කවුද හොදම කණ්ඩායම, කවුද නරකම කණ්ඩායම කියල කියන්න බෑ, ඒ දවසේ හොදට කරන කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඕනෑම ප්‍රබල කණ්ඩායමක් පරාජය වෙන්න පුළුවන්."
අද තරඟය පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ ජයග්‍රහණයකින් තරඟාවලිය ආරම්භ කලොත් සාර්ථක ලෙස ඉදිරියට ගමන කළ හැකි බවයි. ඒ නිසා අද තරඟය ජයගැනීම පළමු ඉලක්කය බවයි ඔහු පැවසුවේ.