Gossips

වසරේ ප්‍රබලතම චණ්ඩ මාරුතය පිලිපීනයට – ඇමරිකානු සුළි සුළඟිනුත් ජීවිත හානි

මේ වසරේ ලෝකයේ වාර්තා වූ ප්‍රබලතම සුළි සුළඟ වන මැන්කුට් චණ්ඩ මාරුතය උතුරුදිග පිලිපීනයට දැඩි සුළං සහ ධාරාණිපාත වැසි සමඟ ළඟා වුණා.
අද අලුයම් කාලයේ පිලිපීන ලූසෝන් දිවයිනේ නිවෙස්වල ජනෙල් දොර බිදිමින්, විදුලි මාර්ග බිද හෙළමින් එය දැඩි හානියක් සිදුකරමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පැයට කිලෝමීටර් 270 ඉක්ම වූ මධ්‍යයේ සුළං වේගයක් සහ පැයට කිලෝමීටර් 325 දක්වා වූ අවට සුළං ප්‍රහාරයක් සමඟ මැන්කුට් චණ්ඩ මාරුතය ඉදිරියට ඇදෙන පථයේ සිටින ජන කොටස මිලියන 5.2කට අධිකයි.
දහස් සංඛ්‍යාත පිරිසක් සුළි සුළඟට පෙර ඉවත් කර ගැනුණු අතර, වෙරළාසන්නව අඩි 20 දක්වා උස් රළ ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇගවීමක් කළා.
මැන්කුට් සුළි සුළඟින් ගොඩනැගිලි සහ අනෙකුත් දේපළවලට විශාල හානියක් සිදුවිය හැකි බවයි පිලිපීන බලධාරීන් ප්‍රකාශ කළේ.
2013 වසරේදී පිලිපීනයට හැමූ මේ ආකාරයේ සුපිරි සුළඟක් වන හයියාන් සුළි සුළඟින් 7000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන් වුණා.
මේ අතර, ඇමරිකාවේ නැගෙනහිර වෙරළට ඊයේ හමා ආ ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතයෙන් ජීවිත හානි වාර්තා වන අතර, නිවාස හය ලක්ෂයකට පමණ විදුලිය ඇණහිට ඇති බව වාර්තා වනවා.
අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වන අතර, සුළි සුළඟත් සමඟ ඇති වූ ජල ගැල්ම නිසා අතරමං වී සිටින පිරිස් බේරා ගැනීම සඳහා ජීවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මකයි.
සුළි සුළඟින් විශේෂයෙන් උතුරු කැරොලයිනා ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, මාර්ග ජලයෙන් යට වී තිබෙන අයුරු දක්නට ලැබුණා.