Gossips

වවුනියාවේ සොරකල්ලියක දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදිවල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනකු ඊ‍යේ (21) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ වවුනියාව නගරයේ පොදු ස්ථානවල නවතා තබන කාන්තා යතුරුපැදි වල අසුන යට තිබෙන කැබිනය වෙනත් යතුරු යොදාගෙන කඩා මුදල් හා ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් පිළිබඳ වවුනියාව පොලිසියට ලද පැමිණිළි මත සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුට ගත් බවයි.
වවුනියාව අන්නානගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට ‍කොල්ලකෑම් සිදුකොට ඇති බව පොලිසිය අනාවරණය කො‍ටගෙන තිබෙනවා.
වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 15ක් , මුදලින් රුපියල් 30000ක් , කාන්තාවන්ගේ මුදල් පසුම්බි, යතුරුපැදි කැබිනය විවෘත කිරීමට යොදාගත් විශේෂිත වූ යතුරක්ද සොයාගත් බවයි.
සැකකරුවන් වවුනියාව රෝහල, වවුනියාව අධිකරණ සංකීර්ණය හා පාසල් අවට ප්‍රදේශවල නවතා තිබෙන යතුරුපැදිවලින් අදාළ කොල්ලකෑම් සිදුකොටගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බවද පොලිසිය සදහන් කළා.
කොල්ලකෑම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන අතර, උත්සව සමයේ වවුනියාව නගරයට පැමිණෙන යතුරු පැදිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසද වවුනියාව පොලිසිය ඉල්ලා සිටිනවා.
සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වවුනියාව – මාධව කුලසූරිය