Gossips

වවුනතිව් සිද්ධියේ විමර්ශන අඛණ්ඩව – ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියෙකුගේ දේහය නිවසට

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (30) මඩකලපුව රෝහලේදී සිදු කෙරුණා.
එහිදී අනාවරණ වී තිබුණේ එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල ඝාතනය කර ඇති බවයි.
අනෙක් පොලිස් නිලධාරියාගේ හිසේ එක් වෙඩි ප්‍රහාරයක සළකුණු සහ ශරීරයේ බහුවිධ කැපුම් තුවාල රැසක් පවතින බවටයි මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.
මේ වනවිටත් සිද්ධිය වූ ස්ථානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුදා සෙබළුන්ද යොදවා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානය, ඊයේ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට ලක්වුණා.
ඊයේ උදෑසන 6 ට පමණ මඩකලපුව – වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබුවා.
ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
වව්නතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි 32 සහ 28 යන වයස්වල පසුවන්නන්.
මිය ගිය කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තා.
මේ අතර මෙලෙස ඝාතනයට ලක්වූ ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ දේහය අද (01) උදෑසන නිවසට ගෙන ආ බව අප වාර්තාකරු පැවසුවා.