Gossips

වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට – 60 කට තුවාල

නුවරඑලිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ මහව්ව වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා.
ඊයේ පස්වරු 6.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
අම්පාර ප්‍රදේශයේ සිට නුවරඑළිය බලා පිරිසක් රැගෙන සංචාරයක පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, තුවාල ලැබූවන් වලපනේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය සහ මහනුවර මහ රෝහල් වෙත මාරුකර යැවුණා.
තුවාල ලැබූවන් අතර, පිරිමි පුද්ගලයන් 16ක්, කාන්තාවන් 33 ක් සහ ළමයින් 11 දෙනෙකු වනවා.
වලපනේ – මහව්ව වත්ත ප්‍රදේශයේදී වංගුවක් ගැනීමේදී බස් රථය ප්‍රපාතයට පෙරළී ඇති අතර, තිරිංගවල ඇතිවූ ගැටළුවක් මෙම අනතුරට මුල්වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

rnrnrn